ඉස්සර කරපු මෝඩකම් මේවතාවේ මම කරන්නේ නෑ - උපේක්ෂා

විවාහය සහ දෙවැනි විවාහය අතර ආන්දෝලනාත්මක පුවත් මැවූ උපේක්ෂා පසුගියදා යුග දිවියට ඇතුළු වුණා. කාටත් රහසක් විදියට හංගාගෙන හිටපු උපේක්ෂාගේ මනාලයා වුණේ ව්‍යාපාරික සමන්ත පෙරේරා. පළමුවෙන්ම අලුත් මනමාලි අපි එක්ක කතාවට එකතු වුණේ මෙහෙමයි.


කාලයක් තිස්සේ හිතේ තිබුණු බලා‍පොරොත්තුව අන්තිමේදී හරිගියා නේද?

බලා‍පොරොත්තු වුණාටත් වඩා වැදගත් විදියට ලස්සනට මගේ හීනය ඉෂ්ට වුණා. හරිම සතුටුයි. සමහර අයව වෙඩින් එකට ගෙන්න ගන්න බැරිවුණ එක ගැන විතරයි දුක. එහෙම වුණේ දිනය වෙනස් වුණ නිසා.

දිනය වෙනස් වෙද්දී වැඩ ටික හරියටම කරගන්න බැරිවේවි කියලා ආතතියක් නම් තිබුණා. විවාහය ගැන ප්‍රශ්නයක් නම් තිබුණේ නෑ. සමන්තයි මමයි හැමදේම කළේ වැඩ ඛෙදාගෙන.

විවාහය කල්යද්දී උපේක්ෂා ගැන නොයෙක් කතා පැතිරුණා?

ඒ කතා ඔක්කොම බොරු. ඇත්තටම වෙච්ච දේ දන්නෙ අපි දෙන්න විතරයි. අපි දැන් වැඩිහිටියො විදියට ඒ වගේ කතා ගැන දුක්වෙවී ජීවත් වෙන්නේ නැ. අනවශ්‍ය දේවල් විදියට හිතලා අපි ඒ වගේ බොරු ආරංචි ජීවිතෙන් ඈත් කරලයි ඉන්නෙ.

එතකොට ඇයි පෙම්වතාගේ නම වත් නොකියා හංගගෙන හිටියෙ?

විස්තර ප්‍රසිද්ධ කරගෙන අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරගන්න මට ඕන වුණේ නෑ. මගේ කලින් විවාහයේදී මම ඒ මෝඩකම කළා. පෙම්වතා ගැන විස්තර හැමෝම දැනගනිද්දී මං ගැන වැරදි වැටහීම් එයාගෙ හිතේ ඇතිකරන්න සමහරු උත්සාහ කළා. දෙවැනි පාරත් ඒ මෝඩකම කරන්න මට ඕන වුණේ නැහැ.

අනික මගේ කිට්ටුම හිතවත්තු සමන්ත ගැන දැනගෙන හිටියා.

විවාහ වෙද්දී දෙවැනි වතාවට විවාහ වෙනවා කියන හැගීම හිතට දැනුණද?

ඒක දැනුනෙ නෑ කීවොත් බොරුවක්. මට ඕන වුණේ මුල් වතාවෙදී මට වෙච්ච වැරදි නැතිකරගත්ත අලුත් ජීවිතයක්. විවාහය සිද්ධ වෙන වෙලාවෙත් මට දැනුනා මම දෙවැනි වතාවට විවාහ වෙනවා නේද කියලා.

ඒ වුණත් විවාහයෙන් පස්සේ පටන් ගත්තු අලුත් ජීවිතේදී මට දැනුනේ හරිම නැවුම්බවක්.

ලැඛෙන ආදරය රැකවරණය හැමදේම හරිම වෙනස්. ඒ නිසා දැන් මේ ජීවිතේ අලුත්ම එකක් කියලයි මට දැනෙන්නේ.

පරක්කු වෙලා හරි ලැබුණු ආදරේ විශ්වසනීයයිද?

මම මුලින් විවාහ වෙද්දී තීරණය ගත්තේ ආදරේට වහල් වෙලා. පුංචි කා‍ලේ ඉඳලා අම්මත් එක්ක හැදුණු මට ලෝකෙ ගැන ලොකු තේරුමක් තිබුණේ නෑ. ඒ නිසා මං මුලින් ලැබුණු ආදරේට වහල් වුණා.

මේ විවාහයේදී සමන්තත් මමත් වැඩිහිටියො විදියට තීරණ ගත්තා.

අලුත් ජීවිතේකට යද්දී උපේක්ෂාට හදාගන්න තිබුණු වැරදි මොනවද?

ඉස්සර මම හිටියේ මාවත් අමතක කරලා. ආදරේ හින්දා හැමදේම ලැඛෙවි කියලා ජීවිතේ ඒ වෙනුවෙන් කැපකළා.

දැන් මම ඒ වැරැද්ද හදාගෙනයි ඉන්නේ. සමන්තගෙයි මගෙයි බැඳීම, අපි ජීවත් වෙන්නේ වගකීම් දරන වැඩිහිටියො හැටියට.

දැන් ගත්තු තීරණේ හරියටම හරි අවසාන තීරණයද?

ජීවිතේ ගන්න කොයි තීරණය වත් හරියටම හරි කියලා ඒ වෙලාවේදී කියන්න අමාරුයි. 100ක් ගැළපෙන කෙනෙක් හොයාගන්නත් අමාරුයි. 2011 ඉඳලා සමන්තව අඳුනනවා මම. ඔහු මගේ දේශපාලන වැඩවලට උදව් කරන්න ගත්තේ 2012. ඒත් අපි විවාහ වෙනවා කියන අදහසින් ආශ්‍රය පටන් ගත්තේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ. ඒ වෙද්දී මගේ අම්මගෙ කැමැත්ත අපට ලැබිලා තිබුණා. කේන්දරත් ගැළපුණා. අපි අතරෙ අවබෝධයක් තිඛෙන නිසා මගේ තීරණය හරි බව මට දැනෙනවා.

ඉදිරි ජීවිතේ ගැන හීන මොනවද?

ලොකුම හීනෙ ඉක්මනට අම්මෙක් වීම. ලොකු පවුලකට මම කැමතියි. ඒත් ළමයි බලාගැනීම වගකීමක් නිසා දරුවො දෙතුන් දෙනකුට පවුල සීමා කරගන්න වේවි.

උපේක්ෂාගෙන් අනතුරුව අපි ඇගේ ආදර”ය සැමියා සමන්ත පෙරේරා සමග කතාබහ ආරම්භ කළා.

කොහොමද මනමාලි?

තෝරා ගැනීම ඉස්තරම්. හැම අතින්ම හොඳ ගතිගුණ තියෙන, මිනිස්සුන්ට උදව් කරන, මටත් ශක්තියක් වෙන කෙනෙක්.

උපේක්ෂා ගැන හැදුණු කටකතා ගැන සමන්ත කලකිරුණද?

ඒ හැමදේම විහිළු බව මම දන්නවා. ජනප්‍රිය කෙනෙක්ව විවාහ කරගනිද්දී ඒ වගේ දේවලට මූණ දෙන්න වෙනවා.

උපේක්ෂා කියන්නේ කවුද කියලා මං දන්නවා. අනුන්ගේ කතා විශ්වාස කරන්නේ නෑ මම.

දේශපාලනයට කලාවට උපේක්ෂාට තහංචි දානවද?

එයා ඉස්සරහට දේශපාලනයට නම් ලොකුවට දායක වෙන එකක් නෑ. ඒත් හොඳ කලා නිර්මාණවලට දායක වෙනවට මම කැමතියි. එයා මගේ වාහන ව්‍යාපාරවලටත් උදව් කරනවා. එයා හොඳ බිරිඳක් වේවි.

0 comments:

Post a Comment