මිනිස්සු මට සමාව දේවි - මලිත් පෙරේරා

ශ්‍රී ලංකාවේ ප්‍රථම රියැලිටි තරගය තුළින්ම ජනතාවගේ හදවත හොරාගත් මලිත් පෙරේරා ලංකාවට ආවා කියලා අපිට ආරංචි වුණා. ටික කාලෙකට රටින් දුරස් වී හිටියත් ඔහු තවමත් ජනප්‍රියයි. මලිත්ගේ අලුත් තොරතුරු එකතු කරන්න අපි කල්පනා කළා. මේ මලිත් පෙරේරාගේ තොරතුරුයි.


මලිත් ලංකාවට ආවේ ආයෙ නොයන්නද? 
මම ලංකාවට ආවේ අවුරුදු දෙකකට පස්සේ. මාසයක කෙටි නිවාඩුවකට ලංකාවට ආවේ. අම්මවයි, තාත්තවයි බලලා යන්න ආවේ. ඒ වගේම මගේ යාළුවෝ කීප දෙනෙක්ගේ විවාහ මංගල උත්සව කිහිපයකටත්, රූපවාහිනී වැඩසටහන් කිහිපයකටත් ආරාධනා ලැබුණා. ඒ වැඩකටයුතු අවසන් වුණ ගමන් ආයෙමත් යනවා.

ඔය කාලය අතරතුර අලුත් ගීත සංගීත ක්‍ෂේත්‍රයට එකතු කරන්න අදහසක් නැද්ද?
මගේ හර්ඩින් අලුත් ගීත දෙකක් රූප රචනා සහිතව කරන්න අධ්‍යක්ෂවරුන් දෙන්නෙක් මට කතා කළා. මේ

මාසය ඇතුළත ඒ සඳහා සම්බන්ධ වෙන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඒ ගීත දෙක හොඳ ගීත නම් මම ගායනා කරන්න කැමැත්තෙන් ඉන්නවා.

බොහෝ ගායක ගායිකාවන් ගීතය ඉදිරියේ හොඳ කියන විශේෂණ පදය යොදා ගන්නවා. මලිත් හොඳ ගීතයක් කියලා අදහස් කරන්නේ?

බයිලා ශෛලියට ගීත ගායනා කරන්න මගේ අදහසක් නැහැ. බැරිකමට ‍නෙවෙයි. ඒත් මම කැමැතියි ලස්සන පද රචනයක් එක්ක සම්භාව්‍ය ගීතයක් කරන්න. මගේ හඬෙත් උපරිම හැකියාව පෙන්වන ගීතයක් වෙන්න ඕන කියලයි මම හිතන්නේ.

ශ්‍රී ලංකාවේ ජනතාවට සමීප කළ ප්‍රථම රියැලිටි අත්දැකීමෙන් ඔබ ජනප්‍රිය වුණේ.

සිරස සුපර් ස්ටාර් තරගකරුවන් අතරේ ඔබව ඉදිරියට ගෙන එන්න ජනතාව එස්.එම්.එස්. මනාප දුන්නේ ඔබේ හර්ඩේ රසය නිරන්තරයෙන් අහන්න. ගීත නොගැයීම ජනතාවට කරන අසාධාරණයක් නේද?

ඒක මම පිළිගන්නවා. රසිකයන් ඒ කා‍ලේ අපි වෙනුවෙන් මුදල් වියදම් කරලා තරගයෙන් ඉදිරියට යන්න එස්.එම්.එස්. ගැහුවා. එහෙම කළේ අපේ දක්ෂතාව සංගීත ක්‍ෂේත්‍රයට එකතු කරන්න අවශ්‍ය නිසයි. ඒත් මට ඒ යුතුකම ඉටුකරන්න බැරිවුණා. මම හිතනවා ඒ අය මට සමාව දෙයි , මගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු නිසයි මම ඔස්ට්‍රේලියාවට ගියේ. දැන් මම ඔස්ට්‍රේලියාවේ ආයතනයක වරලත් ගණකාධිකාරීවරයෙක් විදිහට කටයුතු කරනවා. මම පුංචි කා‍ලේ ඉඳලා හොඳට ඉගෙන ගන්න දක්ෂ නිසා මට ඕන වුණා හොඳින් ඉගෙන ගන්න. ඒ හීනය මම සැබෑ කරගත්තා. ඒ නිසා ගීත ගායන ක්‍ෂේත්‍රයට ජුව සම්බන්ධ වෙන්න බැරිවුණා. කොහොම වුණත් මම කවදාවත් සංගීතය අතඅරින්නේ නැහැ. පුළුවන් හැම වෙලාවකම මගේ රසිකයන් වෙනුවෙන් ගී ගයනවා. ඒ වගේම මම සංගීතය ගැන වැඩිදුර අධ්‍යාපනය ලබනවා කියලත් කියන්න ඕන.

ඒ කියන්නේ මලිත් ලංකාවේ පදිංචියට එන්නේ නැහැ. එහෙමද?

මම ලංකාවේ පදිංචියට එනවා. දැනට මාස හයකට කලින් තමයි මම ඔස්ට්‍රේලියාවේ ලියාපදිංචි ලැබුවේ. මට ඕන ද්විත්ව පුරවැසිභාවය ලබන්න. තව ටික කාලයක් ඔස්ට්‍රේලියාවේ ඉඳලා එනවා. මොකද මගේ දෙමාපියෝ දැන් වයසයි. ඒ අය ළඟ මට ඉන්න ඕන.

දෙමාපියන් චෝදනා කරන්නේ නැද්ද විදෙස්ගත වෙලා ජීවත් වුණා ඇති ලංකාවට එන්න කියලා…?
මගේ අම්මයි, තාත්තයි මම පුංචි කා‍ලේ ඉඳලම කිව්වේ මට සතුටක් ගෙනෙන දේවල් කරන්න කියලා. ඒ නිසා මට නීතිරීති දැම්මේ නැහැ. අදටත් එහෙමයි. මම හොඳම තීරණ ගත්තා. ඒත් ඒ අය කැමැති මම ඒ අය ලග දැන් ඉන්නවාට.

මලිත් ඔස්ට්‍රේලියාවේ ජීවත් වුණාට සංගීත ප්‍රසංගවලට ඇරයුම් ලබනවා ඇති නේද?
ඇරයුම් ලැඛෙනවා. පුළුවන් වෙලාවට සංගීත ප්‍රසංගවලට සහභාගි වෙලා එහේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ගායනා කරනවා.

මලිත්ට දැන් වැඩිපුර ප්‍රතිචාර ලැඛෙන්නේ ඔස්ට්‍රේලියාවේද, ලංකාවේද එහෙම නැත්නම් මලිත්ව අමතක වෙලාද?

මම පිටරට හිටියට ෂෝෂල් මීඩියා නිසා තවමත්, ලාංකිකයන්ගේ ප්‍රතිචාර ලබනවා. මම ලංකාවට ආවට පස්සේ දැකලා ප්‍රතිචාර දැක්වූ අයත් ඉන්නවා. එහෙදී එක වෛද්‍යවරයෙක් මගේ ළඟට ඇවිත් ඇහුවා ඔයා ලංකාවේ කෙනෙක් නේද කියලා. ඊට පස්සේ මාව අඳුරගෙන ආ මලිත් නේද කියලා ඇහුවා. ඉස්සර කෙට්ටු කොල්ලෙක්නේ. තරුණයෝ හුඟ දෙනෙක් කතා කරලා අහන්නේ කොහොමද මලිත් ඇඟ හදා ගත්තේ කියලා. ඒ විදිහට ලැඛෙන ප්‍රතිචාර විවිධයි. 2006 වර්ෂයේ මට ලැබුණ ප්‍රතිචාර නම් දැන් අඩුයි. ඒකට හේතුව නිතර නොදැකීම වෙන්න ඇති. ඔස්ට්‍රේලියාවේදීත් මට ප්‍රතිචාර ලැඛෙනවා.

සුපර් ස්ටාර් තරගයේ දී ඔබව මුණ ගැහුණු යාළුවන්ගේ මිතුදම් තවම තියෙනවද?
ලංකාවට ආවට පස්සේ නම් තවම කතා කළේ නැහැ. ශිහාන් අමිල, තීක්ෂණට කතා කරන්න ඕන. ඒ තුන්දෙනා තමයි මම ළඟින් ආශ්‍රය කළේ. ශිහාන් නම් ලබන මාසේ ඔස්ට්‍රේලියාවේ ප්‍රසංගයකට සහභාගි වෙනවා. ඒ ප්‍රසංගය නරඹන්න මමත් ආසාවෙන් ඉන්නවා.

මලිත් දැන් පෙම්වතෙක්ද?
බොරු කියන්න ඕන නැහැනේ මටත් කාලයක් පෙම්වතියෝ හිටියා. ඒත් ඒ කිසි කෙනෙක් ජීවන සහකාරිය කරගන්න පුළුවන් තත්ත්වයක හිටියේ නැහැ. දැන් නම් තනිකඩයි. පෙම්වතියෝ නැහැ.

ඒ කියන්නේ විවාහයට සහකාරියක් හොයනවද?
ආදරය විවාහය ගැන ඇත්තටම මම දැන් හිතන්නේ නැහැ. අම්මයි, තාත්තයි අහනවා බඳින්නේ නැද්ද කියලා. ඒත් තනිකඩ ජීවිතේ තියෙන නිදහස නැතිවෙයි කියලා හිතෙනවා. කොහොම වුණත් විවාහය කවදා කවුරු එක්ක වෙයිද කියලා නම් දන්නේ නැහැ, බලමු.

0 comments:

Post a Comment