චන්ද්‍ර‍ලේඛා දරුවන් දෙදෙනකු අතරමංකර දැමූ මවක්ද?

දශක දෙකකට පසු රයිනි ඊට පිළිතුරු දෙයි

පසුගිය දවසක අන්තර්ජාලයේ ෆේස්බුක් හරහා ඇතිවූ සිද්ධිය ගැන කතාකරලාම මේ කතාබහ පටන් ගනිමු.

මගේ පෑන්පේජ් එක හරහා එක් කෙනෙක් මට අදහස් දක්ව තිබුණා. අපි ඔයාගෙ අක්කට ආදරෙයි කියලා. එතැනදි එයා අපි අක්කව අමතක කර ඇති බවක් හැඟවෙන විදියේ දේවල් පවසා තිබුණා. අක්කව අගය කිරිමට ස්තූති කරලා අක්කයි, මමයි, අම්මියි, තාත්තියි ඉන්න පින්තූර මම එයාට යැවුවා. ඊට පස්සේ එයා මට දැඩි විදියට දක්වා තිබූ අදහස්වලට මගෙ හිත රිදුණා. මම ඒකට ලංකාවේ මිනිසුන් තුළ තියෙන පටු අදහස් ගැන මගේ මතය ඉදිරිපත් කළා. එය අන්තර්ජාලය තුළින් බොහෝ කතාබහට ලක්වුණා.



ඒ සිද්ධිය සමග ශ්‍යාමි නදීෂා හා යොහාන් ඔබලාගේ පවුල සමග ඇති සම්බන්ධය මතුවන කතාබහ ඇතිවුණා.

අපි අතර තියෙන සම්බන්ධය කාලෙක ඉඳන් තියෙන එකක්. ඒත් ඒ ගැන අම්මා මාධ්‍යයට හෙළි කළේ නැහැ.
ඒකෙන් අවමානය හිමිවුණේ අම්මට. අම්මව ටී.වී. එකේ දකිනකොට සමහරු කියනවා මෙයා දරුවෝ දෙන්නෙක් දාල ආව කෙනෙක් කියලා. ඒ පරණ සිදුවීම් අපේ පරපුරේ අය අතරට යන්නේ ඒ විදියට. එතකොට හැමෝම දොස් නගන්නේ අම්මට. මොන විදියේ සිත් රිදීමක් වුණත් පැත්තකට ගිහින් අඬලා ඒක විඳදරාගන්න එක තමයි අම්මගෙ සිරිත. ඒකයි මම හිතුවේ හැම ඇත්තක්ම මාධ්‍යයට කියන්න.

ඔබලාගේ සම්බන්ධය දිගුකාලීන එකක් බව රයිනි පැවසුවා. මුලින්ම රයිනිට ශ්‍යාමි නදීෂා මුණගැහුණු දවස මතකද?

එතකොට මට අවුරුදු 4ක් විතර ඇති. එක දවසක් අම්මියි තාත්තියි ගෙදර නැති වෙලාවක කෝල් එකක් ආවා. මම තමයි ෆෝන් එක 
ගත්තේ. අම්මි ඉන්නවද...? අම්මිට කතා කරන්න. කියලා කවුදෝ ගෑනු ළමයෙක් කිවුවා. ඔයාගෙ අම්මි මෙහෙ නැහැ.. මෙහෙ ඉන්නෙ මගෙ අම්මි... කියලා මම කිවුවා. එදා තමයි මට මතක හැටියට මුලින්ම අක්කිව කටහර්ඩින් මම අඳුනා ගත්තේ.

ඊට පස්සේ මොකද වුණේ?
අම්මිල ගෙදර ආවට පස්සෙ මම ඒ ගැන කිවුවා. ඒ වෙලාවෙ අම්මි කිවුවා පුතේ ඔයාට තව අක්කියෙකුයි, අයියා කෙනෙකුයි ඉන්නවා... කියලා. එදා මට ලොකු ආශාවක් ඇතිවුණා ඒ අක්කියි අයියයි දකින්න.

රයිනිගේ ඒ ආශාව ඉටුවුණා..?
ආශාව ඉටුවුණා. ඒ විතරක් නමෛයි. එදා ඉඳන් අද දක්වාම අක්කියි, අයියයි, මමයි, නංගියි එකම පවු‍ලේ දරුවෝ වගේ සහෝදර බැඳීමෙන් ඉන්නවා.

ඒත් ඔබලා මාධ්‍ය ඉදිරියට ආවේ නැහැ.
ඒ හින්දයි අම්මි අවමානයට පත්වුණේ. තාත්තිත් එක්ක විවාහ වුණාට පස්සෙත් අක්කියි අයියයි තමං ළඟට ගන්න අම්මි විඳපු දුක කවුරුත් දන්නෙ නැහැ. දිගටම ඒ අය අපිත් එක්ක සම්බන්ධය තිබුණා. ඒ දෙන්න අපේ ගෙදර ආවා නැවතිලා හිටියා. අවුරුදු 13 විතර ඉඳන් අයියා හිටියේ අපිත් එක්ක. දැන් අයියා ඉන්නෙ ඉතාලියේ. ඒ කටයුතු සම්පූර්ණ කළෙත් අම්මි.

නමුත් කාලෙකට ඉස්සර ශ්‍යාමි නදීෂා ~‍ලේ කඳුළක්~ නමින් කැසට් පටයක් කළා. අහිමි වූ මව් සෙනෙහස ගැන කියැවෙන එහි ඇතුළත් දුක් ගීත මිනිසුන්ගේ ඇහැට කඳුළක් එක්කළා.

එදා අක්කි ‍පොඩි ළමයෙක්. ‍පොඩි ළමයෙකුට ඒ වගේ දෙයක් කරන්න කවුරු හරි බලපෑම් කළොත් එයා ඒක කරනවා. ඒත් අක්කි අදටත් ඒ කළ දේ ගැන කියලා අඬනවා.

ශ්‍යාමි හා යොහාන්ගේ පියා ඔබලා සමග අද ඇති සම්බන්ධය කොහොමද?
අම්මියි ඒ අන්කලුයි වෙන්වුණා. ඒක ඒ දෙන්නගෙ ප්‍රශ්නයක්. ඒත් කවදාවත් ඒ අංකල් මටවත් වින්ඩිටවත් වචනෙකින් හිත රිදවල නැහැ. දකින තැන හරිම සුහදව කතා කරනවා. අපිත් එයාට කතා කරනවා.

පවු‍ලේ උත්සවවලටත් ඔබලා එකට සහභාගි වනවාද?

ඒ අංකල් විවාහවෙලා මල්ලියෙක් ඉන්නවා. ඒ අය වෙනම පවුලක්. ඒ අයගේ උත්සවවලට අපි යන්නේ නැහැ. ඒ වගේම අපේ පවු‍ලේ උත්සව වලට අක්කියි අයියයි ආවට ඒ අංකල්ලා එන්නෙ නැහැ.

ශ්‍යාමි හා යොහාන් සමග රූකාන්තගේ සම්බන්ධතාවය කොහොමද?
තාත්ති අපි හතර දෙනාටම හැමදාම සැලකුවේ එක විදියට. චූටි කාලෙ අයියා මම හරි නංගි හරි එක්ක රංඩු වුණත් තාත්තා එතැනින් මගඇරලා යනවා. ඒ රංඩු බේරන්න එන්නෙ අම්මි.

කාලයත් සමග අද වන විට ශ්‍යාමිගෙයි යොහාන්ගෙයි පියා රූකාන්ත චන්ද්‍ර‍ලේඛා සමග ඇති අමනාපකම් අමතක කරලද ඉන්නේ?

මුල්ම කා‍ලේ ඒ අය අතර අමනාපකම් තිබුණා තමයි. ඒත් මගෙ තාත්ති හරි සංවේදී කෙනෙක්.

ඉස්සර ඒ අංකල් අයියවයි, අක්කවයි අපේ ගෙදර එකතු කරගෙන එන වෙලාවට ඒ අංකල් වාහනෙට වෙලා ඉන්නකොට තාත්ති ගිහින් කතා කරනවා. ඇයි මචං වාහනෙට වෙලා ඉන්නේ...? ගෙදරට වරෙන්... කියලා කියනවා. අම්මියි තාත්තියි අක්කිලාව හලාවත එක්ක ගියාම ඒ අයත් අම්මිලාට හොඳට කතා කරනවා. මිනිස්සු තවමත් පරණ දේවල් ඔළුවේ තියාගෙන හිටියට අපි අතර ප්‍රශ්න නැහැ.

ඔහු ඔබේ මව සමගත් දැන් සුහදශීලීව කතාබහ කරනවද?
(හිනැහී) නැහැ. අම්මියි... ඒ අන්කලුයි දෙන්න නම් මුහුණවත් බලන්නෙ නැහැ.

0 comments:

Post a Comment