තිලකරත්න ඩිල්ෂාන් ගැන ගෙවුණු සති දෙකතුනේ වැඩිපුර කතා ඇහුණා. ඒ නවසීලන්තයේදී වුණු සිදුවීමක වීඩියෝවක් නිසා මේ කතා බහ අතරෙම ටික දවසකට පස්සෙ ලංකාවට ආපු ඩිල්ෂාන්ගේ ගෙදර අලුත්ම ආරංචි කොහොමද කියලා දැන ගන්න අපි ඩිල්ෂාන්ගේ ආදරබර බිරිඳ මංජුලා තිළිණිට කතාකළා. මේ ඩිල්ෂාන් ගෙදරම ඉන්න දවස්වලට දවසේ වැඩ වෙනස් වෙන හැටි ගැන මංජුලා අපට කියපු කතාව.
කාලෙකට පස්සේ ඩිල්ෂාන් ගෙදර ඇවිත් නේද?
ටික දවසකට පස්සේ තමයි ලංකාවේ ඉන්නේ. ගෙදර ආවා කිව්වට එයා ගෙදරම ඉන්නෙත් නැහැ. බිස්නස් වැඩවලට මහන්සි වෙනවා. එයාම කරන්න ඕන හැම වැඩක්ම එයා ගෙදර ඉන්න දවස්වලට කර ගන්න ඕනනේ.
ඩිල්ෂාන් ගෙදර ආවම දවස ගතවෙන්නෙ වෙනස්ම විදියකටද?
මමයි, බබාලා තුන්දෙනයි විතරක් ඉන්න දවසට ගෙදර කලබල ගතිය අඩුයි. ඒත් ඩිල්ෂාන් ආවාම ගෙදර ටිකක් කලබලයි. මොකද එයා ගෙදර ඉන්නේ වැඩ ගොඩක් ගැන හිතේ තියාගෙන අනික එයාව හම්බ වෙන්නත් කට්ටිය එනවා. එතකොට වෙනදට වඩා කලබල දවස් තමයි ගත වෙන්නේ.
වැඩ යොදා නොගත්ත නිදහස්ම දවසක් හම්බ වුණොත් ?
ඩිල්ෂාන් වැඩිපුරම කැමති බබාලා තුන්දෙනා එක්කම ඉන්න කොහොමත් නිවාඩුවක් හම්බවෙන හැම වෙලාවකම අපි කොහේ හරි ඇවිදින්න යනවා. බබාලා එක්ක එළියට ගිහින් විනෝද වෙලා එන්න ඩිල්ෂාන් හරි කැමතියි.
දැන් දරුවෝ තුන්දෙනා වැඩිපුර තාත්තාව හොයනවාද?
තුන්දෙනාම දැන් ඉන්නේ පොඩ්ඩ පොඩ්ඩ තේරෙන වයසෙනේ. පුංචිම කාලේ තාත්තා ළඟ නැහැ කියලා ගොඩක් හෙව්වෙ නැහැ. ඒ වුණාට දැන් ඩිල්ෂාන් ටික දවසක් ගෙදර ඉඳලා ආයේ රට ගියාම දවස් දෙකක් විතර යනකල් තුන්දෙනාම ටිකක් වැඩිපුර තාත්තාව හොයනවා. එයාලට නිතරම තාත්තාට කතා කරන්නත් ඕන වෙනවා. කොහොමටත් ඔය වැඩේ නිසා අපේ ගෙදර වැඩිම වියදමක් යන්නේ ටෙලිෆෝන් බිල්වලට
ඒ කියන්නේ දැන් විදෙස් සංචාරවලට මංජුලා යන්නේ අඩුවෙන් ?
බබාලා තුන්දෙනාම දැන් ඉගෙන ගන්න වැඩ පටන් අරගෙන නිසා ඒ වැඩ අතපසු කරගෙන ගොඩක් දවස් රට ගිහින් ඉන්න බැහැනෙ. හැබැයි දිග සංචාරයක් නම් අතරමැදදී දවස් තුනහතරක නිවාඩුවක් හම්බ වුණොත් ඩිල්ෂාන් ගෙදර ඇවිත් යන්න එනවා. නැත්නම් යන්න පුළුවන්කම තිබුණොත් අපි යනවා.
ගෙදර ගැන වගේම ව්‍යාපාර ගැන වැඩිපුර හොයලා බලන්නෙත් මංජුලාද?
ව්‍යාපාර ගොඩනැගුවේ මමයි, ඩිල්ෂානුයි එකතු වෙලා. ඒ නිසා ඒ දේවලුත් බලා ගන්න ඕන. ගොඩක් අය අහනවා පොඩි දරුවො තුන්දෙනෙකුගේ වැඩත් කරන අතරේ ව්‍යාපාරවලට වෙලාව හොයා ගන්නේ කොහොමද කියලා. ඇත්තටම ඒකට හරියට උත්තරයක් දෙන්න මම දන්නේ නැහැ. හැබැයි මම වැඩ ටික සේරම හරි විදිහකට හරි වෙලාවට කරනවා.
වගකීම් ගොඩක් කරපිට වැටිලා කියලා හිතට බරක් දැනෙන්නේ නැද්ද?
පවුලක් වෙලා දරුවෝ එක්ක ජීවත් වෙන එක වගකීමක් තමයි. තනිකඩ කාලේ නිළියක් විදහට ගත කරපු ජීවිතේ හරි සැහැල්ලුයි. ඒත් මට දැන් ඩිල්ෂාන් ගැන, දරුවෝ ගැන ගෙදර ගැන බලාගන්න එක මගේ යුතුකම. වගකීම්, යුතුකම් ඉටුකරන එක මගේ ජීවිතේට සතුටක්. මම මේ හැමදේම කරන්නේ ආසාවෙන්.
ක්‍රිකට් නිසා ඩිල්ෂාන්ට ගෙදර ඉන්න තියෙන වෙලාව අඩු වෙන එක ගැන දුකක් දැනිලාම නැද්ද?
අපේ ජීවිතේ සමහර සංවේදීම වෙලාවල් පවා එයා ක්‍රිකට් වෙනුවෙන් කැප කරලා තියෙනවා. හැබැයි ඒ හැම කැපකිරීමක් ගැනම අපි දෙන්නටම සතුටු වෙන්න පුළුවන්. මොකද ඒ කැපකිරීම්වල ජයග්‍රහණය අද ඩිල්ෂාන් ළඟ තියෙනවා. බිරිඳ විදිහට ඩිල්ෂාන්ට ලොකු ශක්තියක් වෙන්න ලැබුණා කියන සතුට, ඒ ඩිල්ෂාන් ළග නැතිව දැනුණු පුංචි පුංචි දුක්වලට වඩා ගොඩක් වැඩියි.
අද ඩිල්ෂාන්ට ක්‍රිකට් ලෝකයේ තියෙන තැන ගැන දැනෙන හැගීම?
මට මතකයි මීට අවුරුදු දෙකකට විතර කලින් මම පත්තරේට කිව්වා ඩිල්ෂාන් ඉක්මනට එයා බලාපොරොත්තු වෙන තැනට ළං වෙනවා කියලා. ඩිල්ෂාන් අද වෙද්දී එයාට පුළුවන් උපරිම දේ රට වෙනුවෙන් කරලා තියෙනවා. අදටත් අලුතෙන්ම එන තරුණ ක්‍රීඩකයන් එක්ක සෙල්ලම් කරන්න එයාට පුළුවන්. එයා ගෙදරදී හොඳම සැමියෙක් හොඳම තාත්තා කෙනෙක් වගේම ක්රිකට්වලදීත් කාටවත් දෙවැනි නැහැ.
දරුවො ගැන ඩිල්ෂාන්ගෙයි මංජුලාගෙයි හීන මොනවාද?
අපේ දරුවෝ හරිම සංවේදී දරුවෝ තුන්දෙනෙක්. ඩිල්ෂාන්ගේ ආදරේ දරුවෝ හිත පුරා විඳිනවා. ගෙදර හිටියත් නැතත් ඩිල්ෂාන්ගේ ආදරෙන් දරුවන්ට අඩුවක් නැහැ. අපි දෙන්නා අතර තියෙන බැඳීමත් හැමදාම ආදර”යයි. ඒ ආදරේ මැද හැදෙන අපේ දරුවෝ රටට ලෝකයට වැඩක් ඇති දරුවෝ වේවි කියන බලාපොරොත්තුවේ තමයි අපි දෙන්නම ඉන්නේ.
ගෙදර වගකීම් ඛෙදා හදා ගන්න ඉස්සරහට ඩිල්ෂාන්ට වැඩිපුර වෙලාව තියේවිද?
දරුවෝ එන්න එන්නම ලොකු වෙනවානේ. එකම ළඟ වයස්වල දරුවෝ තුන්දෙනෙක් පුංචිම කාලේ මම ඒ වගකීම දරාගෙන ඩිල්ෂාන්ට ශක්තියක් වුණා. දරුවෝ ලොකු වෙද්දී මටත් ඩිල්ෂාන්ටත් තියෙන වැඩ අඩුවේවි. ඩිල්ෂාන්ට ක්‍රිකට් වෙනුවෙන් කාලය වෙන්කර ගන්න ඕන වෙන තාක්කල් ගෙදර වගකීම් දරන්න මම ලෑස්තියි. මට ඒකට එයාගෙන් වචනවලින් හරි ශක්තිය ලැඛෙන බව මම දන්නවා.
0 comments:
Post a Comment