මගේ ජීවිතේ බේරුණේ හාස්කමකින් මේ තමයි අපිට හම්බවුණු වටිනම තෑග්ග.

කාලෙකට පස්සේ දන්න කියන කෙනෙක් හමුවෙන්නයි මම යන්නේ. දන්න කියන කෙනෙක් වුණාට ඇයව දැන් දකින්න නැති තරමයි. ඒ ඇය කොළොම්පුරේ අත්හැරලා සෙංකඩගල පුරේ පදිංචියට ගියපු නිසා. ඈ ගැන අපි අහපු අලුත්ම ආරංචිය වුණේ ඈ අම්මා කෙනෙක් වුණා කියන ආරංචිය. හැබැයි ඒ ආරංචියත් දැන් මාස නමයක් පරණයි. 


කියන්නේ කා ගැනද කියලා හිතාගන්න අමාරුයි නම් ඈ කාලෙකට කලින් සුදු නංගි දැන් සුදු අම්මි කිව්වොත් මතක් වෙන්නේ එකම කෙනෙක් විතරයි නේද?
අයෝමි ශානිකා තමයි ඒ. අයෝමි මුලින්ම පත්තරවලට කතා කළේ තනියම. පස්සේ චින්තකත් ඒ කතාවලට එකතු වුණා. දැන් තව කෙනෙක්. ඒ තමයි අභිරු. අයෝමිගෙයි චින්තකගෙයි ආදරය.

පුරුදු හිනහව එක්ක මේ පුංචි පවුල අපිට මුණ ගැහුණා. අයෝමි නම් හිටියටත් වඩා ලස්සන වෙලා වගේ දැකපු ගමන් එහෙම අහන්නේ නැතිව බැරි වුණා. හැබැයි අයෝමිට කලින් චින්තකගේ වචන ඉස්සර වුණා.

දැන් නුවරනේ ඉන්නේ. නුවර ඉන්නකොට ලස්සන වෙනවා තමයි. මම ඕක නිතරම කියනවා පිළිගන්නේම නැහැනේ. චින්තකගේ කතාවට පුරුදු හිනාවම පාලා අයෝමි පුංචි කතාවක් කියන්න පටන් ගත්තා.

ඇත්තටම පුතා හම්බ වුණාට පස්සේ මීටත් වඩා ලස්සනට මම හිටියේ. මාසෙකට විතර කලින් මම අසනීප වුණානේ. අසනීප වුණා කියන්නේ මට ඩෙංගු හැදුණා. ගොඩක් අමාරුත් වුණා. අසනීපය දැනුණු මුල්ම දවසේම මට තේරුණා. ඩෙංගු තමයි හැදිලා තියෙන්නේ කියලා. ඩෙංගුවලට ඛෙහෙත් ගන්න හොඳම තැන රජයේ රෝහල කියලා හිතපු නිසා මම ඇඩ්මිට් වුණේ මහනුවර රෝහලට හිතපු නැති විදිහට මට අමාරුවෙලා රක්තපාත තත්ත්වෙට ආවා. මාව දැඩි සත්කාර ඒකකයට මාරු කළා. දැඩි සත්කාර ඒකකයේදි මාව බලපු ඩොක්ටර් මුලින් මාව දැනගෙන හිටියේ ආයුර්වේද ඩොක්ටර් කෙනෙක් කියලා විතරයි. පස්සේ කොහොම හරි දැනගෙන තිබුණා මම නිළියක් කියලත්. ඒ ඩොක්ටර් තමරා කන්නන්ගර නර්ස්ලයි නැත්නම් මට මොනවා වේවිද දන්නේ නැහැ.

අමාරු දැනෙනකල්ම අසනීපේ ගණන් නොගෙන හිටියාද?
මට ඇඟට අමාරු දැනුණු මුල්ම දවසේ තමයි මම හොස්පිට්ල් එකට ගියේ. මාව බේරුණේ නම් හාස්කමකින් වගේ. මට මතක් වුණේම චින්තකවයි පුතාවයි.

ඒ දවස්වල පුතාව බලාගත්තේ චින්තකද?

මේ කතාවේ අයෝමි නොදන්න දේවල් දන්නේ චින්තකනේ. ඒ නිසයි අභිරුව හුරතල් කර කර හිටපු චින්තකවත් කතාවට හවුල් කරගත්තේ.

මමත් බලාගත්තා. අපේ ගෙදර අය තමයි වැඩිපුර බලාගත්තේ. මම මගේ ව්‍යාපාර වැඩත් අමතක කරලා දාලා අයෝමිව හොඳ කරගන්න මහන්සි වුණා. ඇත්තටම එයා හිටපු විදිය දැක්කම මට ගොඩක් බය හිතුණා. පුතා හම්බවෙන්න හිටපු දවස්වලවත් එයා අමාරුවෙන් හිටියේ නැහැ. ඒ දවස්වලත් හරි කඩිසරව වැඩටික කරගෙන හිටපු කෙනා ඒ තරම් අමාරුවෙන් ඉන්නවා දැක්කම මට හිතාගන්න බැරි වුණා මොනවා කරන්නද? කියලා. සමහර වෙලාවට මට ඇඬුණත් එක්ක.

සමහර වෙලාවට නමෛයි මෙයා ගොඩක් ඇඬුවලු. මට ගොඩක්ම අමාරුවෙලා හිටපු දවසක මෙයා පුතාවත් අරගෙන ගැටඹේ පන්සලට ගිහින් පුතාවත් තුරුලු කරගෙන හොඳටම අඬලත් තියෙනවා.

චින්තක නොකියපු දෙයක් කියලා අයෝමි චින්තක කියාගෙන ආපු කතාවේ අඩුපාඩු හැදුවා.

දැන් අපි හරි සැහැල්ලුවෙන් මේක ගැන කතා කරාට ඒ වෙලාවේ මට දැනුණු දේ වචනවලට හරවන්න බැරි තරමයි. දෙවියන්ගෙන් බුදුන්ගෙන් පිහිටක් ඉල්ලනවා හැර මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. චින්තක ආයෙත් කතා කළා. ඒ හඬනම් ටිකක් බිඳිලා. හඬ බිඳිලා යද්දි ඇස්වලට පිරුණු ආදරේ ඒ ආදරේ අපට පෙනුණේ කඳුළුවෙලා. දෙන්නම මොහොතකට ගොළු වුණා.

මම සනීපවෙලා ගෙදර ආපු දවසේ තමයි මම දැක්කේ චින්තකගේ සතුටු මූණ. චින්තකගේ ආදරෙයි පුතාගේ ආදරෙයි මාව බේරුවා කියලා තමයි මම තාමත් හිතන්නේ. අයෝමි. ඒ කතාව කියද්දීත් අපි දැක්කේ ඒ ඇස්වල පිරුණු ආදරේ.

දැන් හැමදේම හරිනේ. දැන් කියමු කෝ පුංචි පුතා ගැන. අයෝමිගෙයි චින්තකගේ හිත් වෙන පැත්තකට ගෙනියන්න මට ඕන වුණා.

ඒකනේ අපි ආවෙත් එයා ගැන කියන්නනේ. අයෝමි හිනහවකින්ම කතාව වෙනස් කරගන්නයි හැදුවේ.

මේ තමයි අපිට හම්බවුණු වටිනම තෑග්ග. හිතාගෙන හිටපු විදියටම අපිට පුතෙක් හම්බ වුණා. පුතා ලැබුණු වෙලාවේ චින්තක මගේ ළඟ හිටියා. ඒ වෙලාවේ දැනුණු සතුට අදටත් මට වචනවලින් කියන්න බැහැ. ඒ හැඟීම හරිම වෙනස්. වෛද්‍යවරියක් වෙන්න ඉගෙනගන්න කා‍ලේ කොච්චර දේවල් දැකලා අහලා තිබුණත් අම්මා කෙනෙක් වෙද්දි දැනෙන දේ හරි විශේෂයි.

ඔය කිව්වේ ටිකක් පරණ කතාවක්නේ. දැන් කියමුකෝ පුතාගේ දඟ වැඩ ගැනත්. ඒ වෙද්දිත් චින්තක එක්ක හිනහ වෙවී අපිට නොතේරෙන බහකින් මොන මොනවාදෝ කිය කියා හිටපු පුංචි අභිරුගේ රසකතා මල්ල දිගහැරවා ගන්නයි මට ඕන වුණේ.

දැන් මාස නමයක් මාවයි චින්තකවයි හොඳටම හඳුනනවා. ඒ පුතා ලැබුණට පස්සේ මම වැඩ කළේ හරිම අඩුවෙන්. එයා වෙනුවෙන්මයි හිටියේ. පුතාගේ වැඩ කර කර ගෙදර ඉන්නකොට දවස ගවෛනවා දැනෙන්නේ නැහැ. ඉස්සෙල්ලම පුතෙක් ලැබුණු එක හොඳයි. අප්පච්චියි පුතයි තමයි වැඩිපුර එකතු. චින්තක වැඩවලට ගිහින් ගෙදර එද්දී පුතාට හරි සතුටුයි. අපිව අම්මා, අප්පච්චි කරපු පුතා නිසා අපේ ගෙදර සතුටින් පිරිලා.

තාම ලොකු ලොකු දඟ වැඩකරන්නේ නැහැ. හැබැයි ෆොටෝ ගන්නවට හරි ආසයි කැමරාව අරගෙන ෆොටෝ ගන්න හැදුවොත් ඊට වඩා දෙයක් නැහැ. හරි ආසයි. සුදු අම්මි සුදු පුතා දිහා හරි ආදර”ය විදිහට බලලා එහෙම කිව්වා. එහෙම කියද්දී මට චින්තක ගෙන් අහන්නත් දෙයක් තිබුණා.

දැන් දොස්තර නෝනගේ නීති රීති තවත් දැඩි වෙලාද

නීති නම් ‍පොඩ්ඩ ‍පොඩ්ඩ වැඩි වෙනවා තමයි. හැබැයි මම දැන් නීතිරීතිවලට හුරුවෙලා. පැණි රස, තෙල් කෑම අඩුකරන්න කියලා නම් දැන් කියන්නම ඕන නැහැ. මොකද මම මොනවා හරි කන්න ගියාම අයෝමි බලන බැල්මෙන්ම මට හිතාගන්න පුළුවන් ඒ කෑම කන්නද එපාද කියලා. ඉස්සර මම ආසාවෙන් කාපු සමහර කෑම මට දැන් අමතකම වෙලා. පුතා හම්බවුණාට පස්සේ දැන් කියනවා. තවත් කෑමෙන් පරිස්සම් වෙන්න කියලා.

මම කියන කතාවල වරදක් නෑනේ. අපි දැන් ඉස්සරට වඩා අපි ගැන හිතන්න ඕන. ඒ පුතා නිසා. දරුවෝ කියන්නේ ලොකු වගකීමක්. අකුරටම ඉටුකරන්න ඕන වගකීමක්. මට ඒක හොඳටම දැනුණේ මට අසනීප වුණු වෙලාවේ. අනික අපි එන්න එන්න තරුණ වෙනවා නමෛයි. ලෙඩ දුක් නැතිව ඉන්න ලැඛෙන කොට මම දාපු නීතිවල අගේ තේරේවි. අයෝමි ඒක නම් කිව්වේ මට නමෛයි චින්තකට චින්තක ඒ උපදෙස පිළිගත්තේ හිනහවකින්.

ආයේ රගපාන්න පුංචිවත් ආසාවක් හිතේ නැද්ද?
මම අයෝමිගෙන් එහෙම ඇහුවේ සුදු නංගිව තාමත් හැමෝටම මතක නිසා. මම හැමදේම නතර කරලා නුවර ආවේ පවුල හැමදේටම වඩා වටින නිසා. පුතා තාම පුංචි නිසා මම පුතාට තමයි වැඩිම වෙලාව වෙන් කරන්නේ. ඉඩ හම්බවුණොත් පුංචි දේකට දායක වෙනවා. නුවර අවට දෙයක්නම් වැඩිය හොඳයි. හැබැයි මගේ පුතයි චින්තකයි වෙනුවෙන් තියෙන කාලයයි. ආයුර්වේද වෛද්‍යවරියක් විදිහට මගේ නුවර තියෙන සායනයේ කරන රූපලාවණ්‍ය සහ මදසරුබව සම්බන්ධයෙන් කරන ප්‍රතිකාර කරන්නත් මට වෙලාව තියෙන්න ඕනේ. මට ආදරේ කරපු අයට තාමත් මාව මතකයිනේ ඒකම මට සතුටක්.


0 comments:

Post a Comment