පෞද්ගලික ජීවිතේ වෙනසක් ලගදීම වෙනව - මුතු තරංගා


මුතු කැටවන් අහිංසක සිනහවෙන් පුංචි තිරය ඔස්සේ ප්‍රේක්ෂකයින් දිනාගැනීමට සමත් වූ ඇය ඉතා කෙටි කාලයකින් ජනප්‍රිය වුණ චරිතයක්. ඒ වගේම කාලයක් ඇය ප්‍රසංග වේදිකාවේ නැතුවම බැරිවුණ ගායිකාවක් වුණා. ඇය ඔබ ආදරේ කරන රංගන ශිල්පිනී මුතු තරංගා. දැන් ටිකක් නිහඬ චරිතයක් වෙලා නිසා අපි මුතුගෙන් ඇහුවා මේ දවස්වල මොකද කරන්නේ කියලා?

මොනවද අලුත් තොරතුරු?
ටෙලිනාට්‍ය හතරක විතර රූගත කිරීම් සිදු වෙනවා. ඒ දේවල්වලට තමයි සම්පූර්ණම කාලේම වැය වෙලා තියෙන්නේ. පොඩි අවිවේකයක් එක්ක හොඳින් කාලේ ගෙවෙනවා.

මේ දවස්වල පුංචි තිරයේ වැඩිය දකින්න නැහැ. ළගදි රඟපෑවේ නැද්ද?
රූගතකිරීම් අවසන් වුණ ටෙලි නාට්‍ය අටක් විතර ළඟදී විකාශය වෙන්න තියෙනවා. ඒවාගෙන් ඉදිරියේදී දකින්න පුළුවන්. නිහඬ වෙලාම නැහැ.

සිනමාවට, වේදිකාවට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?
සිනමාවට නම් දායකත්වය ලබා දෙනවා. හැබැයි ‘ගාමිණි’ චිත්‍රපටයට පස්සේ කිසිම දෙයකට සම්බන්ධ වුණේ නැහැ. මොකද සිනමාව ටෙලිවලට එහා ගිය බැරෑරුම් දෙයක්. යම් යම් සීමා තියෙනවා, ඒ වගේම ගැටලු තියෙනවා. ඉතින් ආරාධනා ලැබුණත් මෑතකදී චිත්‍රපට තුනකට බැහැ කියලා කියන්න වුණා.

වේදිකා නාට්‍ය නම් කරන්න මං ගොඩක් ආසයි. එන්න කියලා කතා කළා. නමුත් මේ වෙනකල් කිසිම වේදිකා නාට්‍යයකට රඟපාන්න බැරි වුණා. එක පැත්තකින් ඒක මගේ අවාසනාවක් වෙන්න ඇති කියලා හිතෙනවා.

පවුලේ විස්තර ටිකක් කියමු නේද?
 නංගියි, අම්මයි, තාත්තයි ඉන්නේ. නංගි විවාහකයි බබාලා දෙන්නෙක් ඉන්නවා. ගෙදර ඉන්න වෙලාවට ඒ අය එක්ක කාලේ ගෙවෙනවා.

පදිංචිය කොහේද?
කඩවත.

රංගනයට අමතර ඔබේ ගීතයක් අපිට ළගදි අහන්න පුළුවන් වෙයිද?
මෑතකදී නම් අලුත් ගීත කළේ නැහැ. කලින් කරපු දේවල් විතරයි. ආයේ අලුත් දෙයක් කරනවා කියලා අදහසක් තවම නැහැ.

රංගනයෙන් දායක වුණ පළමු ටෙලි නාට්‍යය මොකද්ද?
සෙනේෂ් දිසානායක බණ්ඩාරගේ ‘පුලීන ප්‍රාසාද’.

මෙතෙක් රඟපෑ චරිත අතරේ වැඩි කැමැත්තක් දක්වන චරිතයක් තියෙනවද?
සංජීව ගුණවර්ධනගේ ‘ඉහිරුණ කිරි’ කියන ටෙලි නාට්‍යයේ පියුමිගේ චරිතයට ගොඩක් කැමැතියි. එහිදී මාව ඇගැයීමට ලක්වුණා. හොඳම නිළියටත් නිර්දේශ වුණා. මගේ ඉදිරි ගමනේදී එය විශාල ශක්තියක් වුණා කියලා හිතෙනවා.

ක්ෂේත්‍රයේ හැදෙන කටකතා කැපිලි කෙටිලි ගැන මොකද හිතෙන්නේ?
ඒ දේවල් නම් මේ ක්ෂේත්‍රයේ විතරක් නෙවෙයි හැම තැනම සාමාන්‍ය සිදුවීමක් විතරයි. මම නම් ගොඩක් වෙලාවට තැනකට ගියත් ගොඩක් වෙලාවට හිතනවා දහසක් මගේ ඇස් දෙකක් තිබුණට දහසක් දෙනා බලන් ඉන්නවා කියලා. මම නම් දන්නේ නෑ මට හැදෙන කට කතා ගැන. ඒ දේවල්වලින් වැළකෙන්නයි හැම වෙලේම උත්සාහ කරන්නේ. කිසිම දෙයක් මම නම් වැඩිය ගණන් ගන්නේ නැහැ.

කොහොමද ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ලැඛෙන සහාය?
මේ ආව ගමනේදී මට වැඩ කරන්න ලැබුණ ගොඩක් ප්‍රවීණ අයගෙන් ලොකු සහායක් ලැබුණා. නොදන්න දේවල් මේ මේ විදියට කරන්න කියලා. ඒ අය අහන දේවල් පවා හොඳට කියලා දෙනවා. මමත් ගොඩක් ඒ අයට ගරු කරනවා. මොකද අපි අද මේ ඉන්නේ ඒ අය අරගෙන ආව දේ නිසා. අපි ඒ දේවල් රකින්න ඕනි. ඒ අය නිසා තමයි අපේ පැවැත්ම තියෙන්නේ කියන දේ මං ගොඩක් හිතන දෙයක්. ඒ අය එක්ක වැඩ කරන්න ලැබීම ලොකු වාසනාවක්.
මෙතෙක් රගපාන්න නොලැබුණ අවස්ථාවක් ලැඛෙනව නම් කැමැති චරිත තියෙනවද?
නොලැබුණ චරිතයක් කියලා නැහැ. විවිධ චරිත කළා නමුත් වසූදා ටෙලි නාට්‍යයේ නම් නපුරු චරිතයක් කළා. ඒත් දැන්නම් ගොඩක් වෙලාවට පෙම්වතිය, අක්කා කියන චරිතයට විතරයි සීමා වෙන්නේ. සමහර විට ඒ මගේ පෙනුම එක්ක තීරණය වෙන දෙයක් වෙන්න ඇති. මං ගොඩක් කැමැති නපුරු චරිතයක් වගේම වෙනස්ම විදිහේ තව චරිත ලැඛෙනව නම්.

පෞද්ගලික ජීවිතේ වෙනසක් කරන්න ළඟදී සුදානමක් නැද්ද?
වෙනසක් නම් වෙයි. ඒත් ළඟදීම කියන්න බැහැ.

ඉදිරි බලාපොරොත්තු ගැනත් කියමු ?
විශේෂ කියලා නැහැ ඉතින්. මේ වැඩ කරගෙන ක්ෂේත්‍රයේ හැමෝම එක්ක හොඳින් ගෙවන එක තමයි ලොකුම බලාපොරොත්තුව.

0 comments:

Post a Comment