අපි හිතුවා ඉක්මනටම තව බබෙක් හදන්න ඕනේ කියලා...

වාඩි වෙන්න. මම ඉක්මනට දුව බලලා එන්නම් එයාට මං නැතිව බැහැ. අපිව පිළිගන්න සාලෙට ආව නදීශා පියගැට පෙළ දිගේ ආයේ උඩට ගියා. පණිවුඩේ
 අරන් ආව නදීශාගේ පුංචි පුතා අම්මගේ පස්සේ වැටුණා. ජනේලෙන් එහා පැත්තේ එක ඕසෙට වහිනවා. ඔය අතරේ අසන්ත අයියා කැමරාවේ මොකද්දෝ වැඩක.

'අකුණු ගහනවද' නදීශා පුංචි දෝණිත් තුරුලු කරගෙන බය වෙලා වගේ එහෙම ඇහුවා. 'නැහැ. නැහැ.' මේ කැමරා ලයිට් එක ටිකක් හදාගත්තා. අසන්ත අයියා හිනා වෙනවා.
'මම අකුණු ගහනවට නම් පුදුම බයයි.' නදීශා සුපුරුදු ළෙන්ගතුවෙන් හිනාවෙනවා. රූපවාහිනි තිරයේ නදීශාගේ රංගනයක් දැක්ක කාලයක් ගැන මට එකපාරට හිතා ගන්නවත් බැරි වුණා.
මම සෑහෙන කාලෙකින් වැඩ කළේ නැහැ. පුතා ලැබුණට පස්සේ අපි හිතුවා ඉක්මනට තව බබෙක් හදන්න ඕනේ කියලා. පුතාට අවුරුදු දෙකහමාරක් විතර වෙද්දි දුව ලැබුණා. මුලින් ලැබුණේ පුතෙක් නිසා ඊට පස්සේ දුවෙක් ලැබුණොත් හොඳයි කියලා හිතුණා.
දැන් ඉතින් මගේ පවුල සම්පූර්ණයි. ඇය හිනා වෙනවා. ඔය අතරේ අම්මගේ තුරුලට වෙලා බිස්කට් එකක රහ බලන නංගි දිහාවට පුටුව දිගේ අයියා බඩගානවා. නංගිත් ඇස් දෙක ලොකු කරන් අයියා දිහා බලාගෙන ඉන්නවා.
'සමහර වෙලාවට අයියා කන බොන දේවල් නංගිටත් දෙනවා. ඇත්තම කිව්වොත් අතේ තියෙන දේ කටේ ඔබනවා. දුව තාම චූටියි නේ. ඒ නිසා ඉතිං දෙන්නා ගැන ඇහැ ගහගෙනම ඉන්න ඕනේ.
'මේ දෙන්නව එක ළඟ තියනවා කියලා කියන්නේ පුදුම තරමේ අමාරු වැඩක්. දෙන්නා එකතු වුණොත් යුද්ධයක් වගේ. නංගි නිදාගෙන ඉද්දි අයියා කරන්නේ නංගිගේ කනට ළං වෙලා 'හූ' කියන එක. අපිට හරි වදේ ඒක. නංගිත් අයියට දෙවැනි නැහැ. උදේට මං ඇහැරෙද්දිම දුවත් ඇහැරෙනවා. පුතා හොඳට නිදි. දුව කරන්නේ අයියගේ කන ළඟට ගිහින් හයියෙන් කෑගහන එක. පුතාව උදේට නර්සරි යන්න ඇහැරවන්නේ දුව තමා.
'මේ දඟයො දෙන්නව තනියම බලාගන්න පුළුවන්ද? මම එහෙම ඇහුවේ සෙල්ලම් බඩු ගොඩ තනියම අයිතිකරගෙන ඉන්න අයියා දිහා බලාගෙන.'
දුව නම් වැඩිපුර ඉන්නේ මාත් එක්ක තමයි. මගේ අම්මා මට ගොඩක් උදවු කරනවා. මහත්තයා පුළුවන් වෙලාවට බබාලව බලාගන්න උදවු කරනවා. මේ දෙන්නා හරි ආදරෙයි. ඒත් දුව ලැබුණු මුල් දවස්වල නම් පුතා පොඩ්ඩක්වත් දුවට කැමැති නෑ. එයාට දුක හිතුණා මගේ ආදරේ දෙකට බෙදුණාට. ඒත් ඉතිං දැන් නම් අයියට නංගි නැතිවම බැහැ. හැබැයි ඉතින් හිටිය ගමන් දෙන්නත් එක්ක රණ්ඩුත් වෙනවා.
දරුවො දෙන්නෙක්ගේ වැඩ අතරේ රංගන කටයුතුවලින් අෑත් වෙලාද? මම ඇහුවේ මේ දඟයෝ දෙන්නගේ වැඩත් එක්ක නදීශා රංගනයෙන් සමු අරන්ද කියලා හිතුණ නිසා.
'හුඟක් දෙනෙක් මගෙන් ඔය ගැන අහනවා. ආරාධනයක් නම් ලැබිලා තියෙන්නේ. හිමින් සැරේ වැඩ පටන් ගන්න ඉන්නේ දැන්. ඉස්සර කරපු චරිත සමහර විට ඒ විදියටම කරන්න බැරි වෙයි.' දුවව තනියම දාලා යන්න අමාරු නැද්ද? ආව වෙලේ ඉඳන්ම අම්මගේ තුරුලටම වෙලා ඉන්න පුංචි දෝණි ගැන හිතිලයි එහෙම ඇහුවේ.
දුවව දාලා යන්න නම් ගොඩක් අමාරුයි. අම්මා කෙනෙක් විදියට මට වගකීමෙන් මිදෙන්නේ නම් බැහැ.
ඒ ඇස් වල ආදරේ ඕනවටත් වඩා උතුරනවා වගේ දැනුණා. ඉස්සර දැක්ක කෙළිලොල් බවට අම්මා කෙනෙක්ගේ වගකීම් එකතු වුණාම හරිම අපූරුයි වගේ. ඒ අපූරු සංකලනය මේ ගෙදර පුරාවටම දිවෙනවා. දරු දෙන්නෙක්ගේ බර හිස මත තියාගෙන ඇය ආයෙත් පුංචි තිරයට එන්න සූදානම් වෙනවා.

'පුතා දැන් නර්සරි යනවා. නර්සරි ගිය පළමුවැනි දවසේ එයාව පන්තියේ තියලා එද්දි හරියට ඇඬුවා. ඒත් ළමයි ඒ පරිසරයට හුරු වෙන්න ඕනේ නිසා අපි කාටවත් ඉන්න දුන්නේ නැහැ. එදා නම් පුතාටත් වැඩිය මම ඇඬුවා. මම ගෙදර එද්දි අඬ අඬා ආවේ. ඒ ඇවිල්ලත් පැයක් වත් ඉන්න බැරි වුණා. මම ආයෙත් නර්සරි එකට ගියා. නර්සරි එක ඇරෙනකම් ගේට්ටුව ළඟට වෙලා හිටියා.'
ඇය හිනා වෙනවා. අම්මා කෙනෙක්ගේ වගකීම් ඇගේ දෙවුර මත. නංගිව රිදවලා අම්මගේ ආදරේ වැඩියෙන් හොයන දඟකාර අයියා කෙනකුයි. අයියට දෙන්නෙ නැතිව අම්මගේ තුරුලේ උණුහුමට ගුළි වෙන පුංචි නංගි කෙනකුයි නදීශාගේ පවුල සම්පූර්ණ කරලා. අවුරුදු තුනහමාරක් පිරුණු නෙතුම් නික්ලේෂ වාදසිංහ පුතා වගේම මාස අටක් වයස සපිරුණු තිව්‍යා ශ්වේතකී වාදසිංහ පුංචි දෝණිත් නදීශාගේ ලෝකේ සතුටින් පුරවනවා. මවුවත්කම හිතේ හංගගෙන නදීශා ළඟදීම දවසක පුංචි තිරයට එන්න මේ දවස්වල ඇඟිලි ගණිනවා. නදීශා පුංචි තිරයේදී සුපුරුදු ළෙන්ගතුවෙන් අප හමුවේවි. ඒ දවස වැඩි අෑතක නම් නෙවේ.

0 comments:

Post a Comment