රඟපාන්න ආරාධනා කරලා වෙන දේවල් බලාපොරොත්තු උනා - පියුමි හංසමාලි


 ආදරය සුන්දරයි. ඒත් ආදරය දුකක් වේදනාවකින්
කෙළවර වෙන දෙයක් විතරයි.

පියුමි හංසමාලි කියන නමට වඩා බොහෝ දෙනා ඇයව හඳුනන්නේ රිතූ නමින්. ශාන්ත සොයිසාගේ අධ්‍යක්ෂණයෙන් හැඩවන රිතූ ටෙලි නාට්‍යය හරහා පුංචි තිරයට පායා එන අලුත්ම රුවැත්තිය වන්නේ ඇයයි.


ඔබේ සම්පූර්ණ නම
පියුමි හංසමාලි ගෝමස්

එතකොට රිතූ රිතූ කියන්නේ 
මම රඟපෑ පළමු වැනි ටෙලි නාට්‍ය රංගනය. ඒ නිසා මට දැන් පියුමි කියනවට වඩා රිතූ කියලා කතා කරන පිරිස වැඩියි. ඇත්තටම මගේ පිනකට තමයි මට මේ ටෙලි නාට්‍යය ලැබුණේ. රිතූ නිසා අද හැමෝම මාව අඳුරනවා, මට ආදරේ කරනවා. ඒ නිසා මට හරිම සතුටුයි.

ටෙලි නාට්‍යයේ එන ර්‍රිතූ ගැන කතා කළොත්
රිතූ කියන්නේ අම්මා තාත්තා ළඟ හැදෙන ගොඩාක් අහිංසක යුවතියක්.

සැබෑ ජීවිතයේත් ඔබ ඔය විදියට අහිංසකද?
සමහර වෙලාවට මම අහිංසකයි. ඒත් ටෙලිනාට්‍යයේ රිතූ තරම් අහිංසක නැහැ.  සැබෑ ජීවිතයේ මම හරිම දඟ, සෙල්ලක්කාර චරිතයක් කිව්වොත් තමයි හරි

ඔබ ක්‍ෂේත්‍රයට එන්නේ නිරූපිකාක් ලෙසින්.
ඔව්. 2010 දී  Model of The New Jenaration පැජන්ට් එකෙන් පස්සේ නිරූපණ ක්‍ෂේත්‍රයටමම සම්බන්ධ වුණා.

නිරූපණයද වඩා හොඳ රඟපෑමද?
නිරූපණයේදී ගොඩක් දේවල් කරන්න නැහැ. ඒත් රඟපෑමේදී ගොඩක් කැපවීමෙන් තමන් කරන චරිතයට සාධාරණයක් ඉෂ්ට කරන්න වෙනවා. ඒ නිසා රඟපෑමට වඩා නිරූපණය ටිකක් පහසුයි.

පුංචි තීරයේ රිතූ වීමට ඔබට අවස්ථාව ලැබුණේ කොහොමද?
ඒක හරිම අහඹු සිදුවීමක්. දවසක් මම ෆොටෝ ෂූට් ඒකකට අයි.ඩී.එච්. බර්ඩ් පාර්ක් එකට ගිහින් හිටියා එතනට ‘වරාමලී‘ ටෙලිනාට්‍යයේ රූගත කිරීමකට ශාන්ත අයියත් ඇවිත් හිටියා. වරාමලී එකේ මොඩ්ලින් ස්කූල් එකේ මගේ යාළුවෙකුත් රඟපෑවා. ඉතින් එයා කිව්වා පියුමි ශාන්ත අයියා අලුත් ටෙලි එකක් කරන්න යනවා මම ඔයාව හඳුන්වලා දෙන්නද කියලා.” මම කිව්වා බුදු අම්මෝ එපා මම රඟපාන්න දන්නේ නැහැ” කියලා.
ඊට පස්සේ එයා කිව්වා බය වෙන්න එපා හැමදේම කියලා දෙනවා” කියලා. ඊට පස්සේ ස්වාධීන රූපවාහිනී සේවයට එන්න කියලා මාව ඉන්ටර්විව් කරලා තමයි චරිතයට තෝරා ගත්තේ.

රිතූ ටෙලි නාට්‍යයට කලින් පියුමිට රඟපාන්න අවස්ථාවක් ලැබිලාම නැද්ද?
රිතූ ටෙලි නාට්‍යයට කලින් එක අවස්ථාවක් ‍නෙවෙයි අවස්ථා කිහිපයක් මට ලැබුණා. ටෙලිනාට්‍ය විතරක් නොවෙයි චිත්‍රපටත් ඒ අතර තිබුණා.

ඉතින් ඇයි ඒ සඳහා සම්බන්ධ නොවුණේ.
ඒ හැමකෙනෙක්ම බලා‍පොරොත්තු වුණේ වෙන දෙයක්.  රඟපාන්න ආරාධනා කරලා ඒ අය අයුතු යෝජනා මට ගෙනාවා. මම ඒ කිසිම දේකට කැමති වුණේ නැති නිසා මට ඒ අවස්ථාවන් නැතිවුණා.

රඟපානකොට හිනා වෙනවා වැඩියි කියන්නේ ඇත්තක්ද?
මට හිනා ගියොත් නවත්ත ගන්නම බැහැ ස්වර්ණවාහිනියේ කරන සජීවී වැඩසටහනේදී පවා මට හිනා යනවා. රිතූ සෙට් එකේදීත් රොෂාන් අයියගෙන් බැණුම් අහන්නේ හිනාවෙලාම තමයි. රිතූ එකේ විශ්වකොඩිකාර කරන්නේ සෙල්ලක්කාර චරිතයක්. ඉතින් විශ්ව ඇවිත් ටේක් එකේදී මාත් එක්ක කතා කරනකොට මට හොඳටම හිනා යනවා. හැබැයි රොෂාන් අයියාගෙන් හොඳටම බැණුම් ඇහුවත් අද වෙනකන් ශාන්ත අයියා නම් බැණලා නැහැ.

රූගත කිරීම් අතරතුර සිදුවුණු අමතක නොවෙන සිදුවීම් එහෙමත් ඇති.
දවසක් බස් හෝල්ට් එකක් ළඟ ෂූට් එකක් තිබුණා. ඒක ඉවරවෙන කොටම බස් එකක් ආවා. ශාන්ත අයියා කිව්වා බස් එකට නගින්න කියලා. ඉතින් මමයි, රොෂාන් අයියයි නිරෝෂා අක්කයි ඉක්මනට බස් එකට නැග ගත්තා. බලනකොට ඔක්කොම එකතුවෙලා අපිට බොරුවක් කරලා තියෙන්නේ ඒක පාරේ ගිය බස් එකක්. අත්තිමට කොන්දොස්තර ගෙනුත් බැණුම් අහලා අපි බැහැලා ආවා. ඒකනම් අමතක වෙන්නේ නැහැ.

පවු‍ලේ විස්තර ගැන කතා කළොත්.
මට සහෝදර සහෝදරියන් නැහැ. මගේ තාත්තා මට අවුරුදු හයේදී නැති වුණා. දැන් මට ඉන්නේ අම්මා විතරයි.

ආදරය ගැන මොකද හිතන්නේ?
ආදරය සුන්දරයි. ඒත් ආදරය දුකක් වේදනාවකින් කෙළවර වෙන දෙයක් විතරයි.

ඒ කියන්නේ ඔබ ආදරයේ වේදනාව විඳලා තියෙනවා?
ඔව්. එහෙම නැහැ කියලා කිව්වොත් ඒක බොරුවක්.

පියුමිගේ ඉදිරි නිර්මාණ කටයුතු කොහොමද?
චිත්‍රපටයකට සහ ටෙලි නාට්‍ය දෙකකට ඇරයුම් ආවා. ඒත් රිතූ වැඩ ඉවර වෙනකන් මම ඒවා බාර ගත්තේ නැහැ.
දිගටම නිරූපණ ක්‍ෂේත්‍රයේ හිටියත් රඟපෑම නම් ඉතින් පුළුවන් විදියට තමයි කරන්නේ රඟපෑම මට අමාරුයි. ඒත් ඉදිරියේදී චරිත තෝරා බේරාගෙන රඟපාන්න ආසාවෙන් ඉන්නවා. නපුරු චරිතයක්, ලැබුණොත් කරන්න ආසයි.

0 comments:

Post a Comment