මගේ පෙම්වතා කඩවසම් බවින් සෑම දෙනාටම වඩා ඉදිරියෙන් ඉන්නවා - උපෙක්ෂා

පහුගිය දවසක ජනප්‍රිය නිළි උපේක්ෂා ස්වර්ණමාලි ගැන අලුත්ම පුවතක් දැනගන්නට ලැබුණා. ඒ උපේක්ෂා නැවතත් පෙම්වතියක් වූ පුවත. ප්‍රථම විවාහය කටුක විදියට නිමාවීම නිසා හුදකලා  දිවියක් ගෙවූ උපේක්ෂා විවාහය ගැන විමසූ ඇතැම් අවස්ථාවල කතා කළේ දැඩි කලකිරීමෙන් යුතුවයි.

ඒත් කඳුළ, සුසුම සදාකාලික නැහැ..... අපි හැමෝම කැමතියි දුක් තැවුල් පිස දාලා සතුටින් හිනා වෙලා ඉන්න. උපේක්ෂාත් උත්සාහ කරන්නේ නැවතත් අලුත් තැනකින් ජීවිතය අරඹන්න. ඇයට ආදරය කරන පාඨක හිතවතුනුත් මේ මොහොතේ උපේක්ෂාගේ සතුට සමග එක්වේවි. ඒ හින්දම අපි හිතුව ඇගේ අලුත් ආරංචිය ගැන තොරතුරු ටිකක් හිතවතුන්ට කියන්න.

උපේක්ෂා නැවතත් පෙම්වතියක් වු දිනය හරියටම කියනවා නම් නොවැම්බර් මාසේ 4 වැනිදා ය. ඒ සුන්දර දවස ගැන දැනගන්න උපේක්ෂාගේ රසික හිතවතුන් කැමති වේවි. ඇයට ඔහුව මුණ ගැසී තිඛෙන්නේ ඇගේ සමීපතමයෙකු හරහා ය. ඔහු උපේක්ෂාගේ හිතවතා මාර්ගයෙන් ඇයට විවාහ යෝජනාවක් ගෙනත් තිබුණු අතර පසුව එයට  ඇගේ මවගෙන් කැමැත්ත ලැබුණු බවත් පසු ඇය ඇගේ කැමැත්ත නොවැම්බර් මාසේ 4 වැනිදා ඔහුට ප්‍රකාශ කළ බවත් ඇය පුවත්පත් හමුවක දී පැවසුවා ය.

එහි දී උපේක්ෂා ඔහු ගැන විස්තරක් ද කර තිබුණේ මෙලෙසිනි.

ඔහු ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ කෙනෙක්. කලාවටත් දේශපාලනයටවත් කිසිම සම්බන්ධයක් නැහැ....... නම් ගම් සහිතව වැඩි විස්තර ඉදිරියේදී කියන්නම්.

ඇත්තටම මගෙ හිත වෙනස් කළේ මගෙ අම්මා. කවදාවත් විවාහ නොවී ඉන්න අවශ්‍යයි කියල මම මගෙ අම්මට කියපු අවස්ථාත් තිබුණා. ඒත් අම්මා නිතරම මාව විවාහයකට උනන්දු කළා. අම්මා නැති කාලෙක මම තනිවෙනවා නේද? කියල අම්මා මට කිව්වා.

ආයෙම ජීවිතය අරඹන්න මගෙ හිත සකස් කළේ අම්මා. ඒ විදියට හිත හැදුණු පසුව තමයි එයා හමුවුණේ. මා කැමති විශේෂතා ඔහු තුළ තිබුණා. ඉතින් මට හිතුනා මේ පුද්ගලයාට කැමැත්ත දෙන්න ඕන කියලා.

ඔහු මට වඩා දැන උගත්, මට වඩා වයසින් වැඩියි, ජීවිතය ගැන මට වඩා ගොඩක් අවබෝධය තියෙන කෙනෙක්. අපි දෙන්නා අපි දෙන්නගෙ අතීතය ගැන විවෘතව කතා කරනවා. එයා හොඳ ඇහුම්කන් දීමක් වගේම තේරුම් ගැනීමක් ඇති කෙනෙක්.

ඒ වගේම හොඳට කතා කරන්න, ඕනෑම දෙයක් පැහැදිලි කරන්නත් දන්න කෙනෙක්. ඒ වගේම ඔහු ගොඩක් ප්‍රියමනාප පෙනුමක් තියෙන කෙනෙක්.

කාලෙකට ඉහත දී එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ආයේම කවදා හරි තෝරාගන්නෙ අකලංක වගෙ කෙනෙක් බව උපේක්ෂා පවසලා තිබුණි. ඉහත සාකච්චාව අතර තුර දී ඇය ඒ පිළිබදව ද පැවසුවා ය.

ඒ මාධ්‍ය සාකච්ඡාව අතරතුර දී මම විහිළුවට කියපු කතාවක් තමයි ඒ..... නමුත් පස්සේ ඒ කතාව ලොකුවට ඇදිලා ගියා.  මගෙ පෙම්වතා අකලංක වගේද කියන ප්‍රශ්නයට දෙන්න තියෙන උත්තරේ නම් ඒ දෙන්නා එකිනෙකට ගොඩක් වෙනස් චරිත දෙකක් කියන එක. බාහිර පෙනුම ගැන කියනනවා නම් එයා අකලංකට වඩා උසයි. අකලංකට වඩා කඩවසම්.

ඔහුගේ කඩවසම් බව හේමාල්, රොෂාන්, සාරංග, සුරාජ් ඇතුළු නව පරපුරේ නළුවන් සමග සංසන්දය කළොත්, කඩවසම් බවින් එයා ඒ සෑම දෙනාටම වඩා ඉදිරියෙන් ඉන්නවා.

පාසල් වියේදීනම් වේදිකා නාට්‍යයක ර`ගපාලා තියෙනවලු..... නමුත් ර`ගපාන්නවත්, දේශපාලනය කරන්නවත් කිසිම අදහසක් නෑ කියල තමයි කියන්නේ.

සාමාන්‍ය වෙලාවට ගීයක් මුමුණන විට වුණත් අපිට කෙනෙකුගේ ගායන කුසලතා තේරුම් ගන්න පුළුවන් නේ. ඔහුට ඉතා හොඳ ගායන හැකියාවකුත් තියෙන බව මට දැනිල තියෙනවා. ඒත් ඒ එක දෙයක්වත් දියුණු කරගන්න එයා කැමති නැහැ.....

එයා ප්‍රසිද්ධියට කැමති නැහැ..... මට මුලදිම කියපු දෙයක් තමයි කලාවේ හෝ දේශපාලනයේ උත්සවවලටවත් මාත් එක්ක එකතු වන්නෙ නැහැ කියන එක. නමුත් මම කලාවේ ඉන්නවටයි, දේශපාලනය තුළ ඉන්නවටයි ඔහු කැමතියි.

ඔහුත් මම වගේම ආදරයේ දුක අත්විඳලා තියෙනවා.  ප්‍රේම සම්බන්ධතාවයක් හින්දා ඒ විදියේ අත්දැකීම් ඔහුටත් තියෙනවා. අපි දෙන්නගෙ විශේෂත්වය තමයි හැමදේම විවෘතව කතා කරන එක. ඒ පුරුද්ද මට ඇතිවුණේ එයාගෙන්.

එයා මගෙන් ඇහුවා මම කේන්ති ගියාම මොකද කරන්නෙ කියලා. මම ඒකට නිවැරදි උත්තරේ දුන්නා. ඒ විදියට අපි දෙන්න අපි දෙන්න ගැන හැමදේම කතා කරනවා.

අනෙක් හැමෝම සතුටින් ආදරෙන් වෙලෙන්න බලන් ඉන්න අතරේ උපෙක්ෂා නම් බලන් ඉන්නේ ඇගේ අලුත්ම පෙම් පළහිලව්වේ මුල්ම රණ්ඩුව ඇතිවෙන්නේ කවද ද කියලලු.....

දැන් බය නැතුව පළමු රණ්ඩුවට යන්න පුළුවනි. තවම අපේ සම්බන්ධයට මාස දෙකක්වත් නැහැනේ. අපි මේ බලාගෙන ඉන්නේ අපේ පළමු රණ්ඩුව කවද්ද ඒ අවස්ථාවට අපි කොහොම මුහුණ දෙයිද කියන එක ගැන.

දෙමාපියෝ, දරුවො, යාළුවො, පෙම්වතුන් අපි කොයි කා අතරත් අ`ඩදබර ඇතිවෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. වැදගත් වන්නේ ඒ අවස්ථාවට මුහුණ දෙන විදිය.

ඒ අනුව තමයි සම්බන්ධතාවය ඉදිරියට ගොඩනගාගන්නේ. පෙම්වතුන් අතර ඇතිවන ගැටුමත් ඒ අය වෙන් කරන අවස්ථා තියෙනවා. ඒ වගේම ගැටුමක් ඉවර වුණාට පසුව දෙන්නට දෙන්න අතර තියෙන ආදරේ
වැඩිවන අවස්ථාත් තියෙනවා. ඇතැම් විට ලබන වසරේ දී විතර අපි දෙන්නගේ විවාහය සිදු වේවි.

0 comments:

Post a Comment