මම මේ කේෂේත්‍රයට එන්න කලින් ගැහැණු ළමයෙක් එක්ක යාළුවෙලා ඉන්නවා - අකිල

සිරි පැරකුම් චිත්‍රටයේ තරුණ පරාක්‍රමබාහු කුමාරයාගේ චරිතයට පණ ‍පොවමින් තම කුළුඳුල් රංගනයෙන්ම රසික සිත් සතන් වශීකෘත කරගත් ඒ අපූරු නාඹර රංගන ශිල්පියා ඔහුය. රුධිරගත උරුමයක සැඟවගත් කුසලතා නිසාමදෝ එම රංගනයෙහි පරිණත බවක් මිස ආධුනික ගති ලක්ෂණ දිස් වූයේ නැත. ඔහු අඛිල ධනුද්ධරය. ලෙන්ගතුකම ඉහවහා ගිය චරිතයකට හිමිකම් කියන අඛිල අප හා කතාබහ ආරම්භ කළේද බොහෝ කලක සිට දැන හඳුනාගෙන සිටි අයකු පරිද්දෙනි.

රඟපාන්න, කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න නම් මගේ හිතේ හාංකවිසියකවත් අදහසක් තිබුණෙම නැහැ. අපේ අප්පච්චි, අම්මා, අක්කා, මල්ලි මේ හැමෝම නිතරම කලාවත් එක්ක යන ගමන දිහා මම බලාගෙන හිටියා. නමුත් මට වුවමනා වුණේ ඊට වඩා වෙනස් කෙනෙක් වෙන්න. වෙනස් දෙයක් කරන්න. ව්‍යාපාරයක් කරන්න තමයි මුල ඉඳලම ආසාව තිබුණේ. වෙළෙඳ‍පොළේ භාණ්ඩ වල මිල ඉහළ පහළ යන වෙලාවල බොහොම උනන්දුවකින් මම ඒවා දිහා බලාගෙන හිටියේ.

අතිශයින් ළගන්නා සුළු කතා විලාසය. කිසිදු ආයාසයකින් තොරව මුවට ගලා එන ඒ කතා රොත්ත තවත් පනාපුත්‍ර කුහුඹුපැණියකුගේ ආගමනයක හැඩ තල මවාපෙන්වීය. කලාව කියන දේ මට කවදාවත් අමුතු දෙයක් වුණේ නැහැ. කලාවෙන් අපේ පවුලට ලැබුණු රසික ආකර්ෂණය ගැන හොඳ අවබෝධයක් මට තිබුණා. ඒ දේවල් දිහා මම හරි ආසාවෙන් බලා හිටියා. නමුත් මට ඕන වුණේ ව්‍යාපාරයක් කරලා යහමින් මිල මුදල් හම්බ කරලා ජීවිතේ සැපවත් කරගන්න. හැමදාම මගේ හිතේ තිබුණු ආසාව ඒක තමයි. ඔහු තම රංගන ජීවිතයේ ආරම්භය සනිටුහන් කර තිබුණේ මේ ආකාරයටය.

මීට අවුරුදු දෙකකට විතර කලින් වයිඩ් ඈන්ගල් කියන ගීතවලට රූප රචනා කරන ආයතනයේ ප්‍රසංග, තුසිත කියන දෙන්නා මට දිගු දෑස ගීතයට පෙනී ඉන්න කියලා ඉල්ලීමක් කළා. ඉතින් මම ඒකට ඉදිරිපත් වුණා. ඒක ඉබේම සිද්ධ වුණු දෙයක්. ඊට කලින් දවසෙවත් එහෙම අදහසක් මගේ හිතේ තිබුණේ නැහැ. ඇත්ත ඒක තමයි. එම අවස්ථාවට මාව තෝරාගැනීම ගැන මම ඒ අයට හුඟක් ස්තූතිවන්ත වෙනවා. දැන් ඉතින් මේක රූපවාහිනී නාලිකාවලින් විකාශය වෙනවා. මේක දැකලා තමයි සෝමරත්න මාමා මට සිරි පැරකුම් චිත්‍රපටයට කතා කරන්නේ. ඒ වෙනකොට සෝමරත්න මාමව මට මුණගැහිලා තිබුණෙත් නැහැ. සූරිය අරණට මල්ලිව තෝරගන්න අපේ ගෙදර ආපු දවසෙත් මම හිටියේ ගේ ඇතු‍ලේ කාමරයකට වෙලා. ඉස්සරහට ආවෙම නැහැ.

කෙසේ හෝ අද ඔහු කලා ලෝකයේ දොරඟුළු විවර කරගෙන හමාරය. සෝමරත්න දිසානායක මහතාගේ තේරීම බොහෝ ඇගයුමට ලක්ව තිබේ. දැන් ඔහු මේ ගැන දරන ආකල්පය ඔහුගේ ව්‍යාපාරික සිහිනය මෙම ආගමනය පවු‍ලේ අය දකින ආකාරය දැන ගැනීම මට රිසිවිය.

කලාවට සම්බන්ධ වීම ගැන බොහොම සතුටින් ඉන්නේ. ව්‍යාපාරික හීනය හැබෑ කරගන්න, ව්‍යාපාර කළමනාකරණය හා සම්බන්ධ මගේ උසස් අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒ අතර රඟපෑම්, රූපවාහිනී සාකච්ඡා, නිවේදන කටයුතු සඳහා ලැඛෙන ආරාධනාවන්ද හැකි අයුරින් පිළිගන්නවා. ඉතින් දැන් මට ලැඛෙමින් තිඛෙන ප්‍රේක්ෂක ආදායමත් බොහෝම ඉහළ එකක්. ඒකත් බොහොම සතුටින් බාරගන්නවා ඔහු කීවේ සිනාව උතුරා යන හ`ඩකිනි.

කතාවේ ස්වාමිත්වය ඔහුටම පවරා ගනිමින් සිය පියාගේ වාග් වික්‍රමයන්ද සිහිගන්වමින් අඛිල දිගටම කතා කළේය.

අපි හිතමු මෙහෙම. ඔන්න වඩුවෙක් ඉන්නවා. එයාගේ පුතා හොඳට ඉගෙනගෙන ඉංජිනේරුවෙක් හරි ලොකු තානාන්තරයක් දරන කෙනෙක් හරි වෙනවා. ඉතින් මේ වඩුවට කොයිතරම් නම් සතුටක්ද? එක දවසක් මේ වඩුව ගෙදර එනකොට දකිනවා තමන්ගේ පුතා පුටුවක් හදමින් ඉන්නවා. එතකොට ඒ වඩුවට දැනෙන ආඩම්බරකාර සංතෘෂ්ඨිය මොන තරම් එකක් වේවිද?

අද අපේ අප්පච්චිට, අම්මට දැනෙන හැඟීමත් ඒ වගේ එකක් තමයි.

කලා ලෝකයේ දැවැන්ත චරිතයකට හිමිකම් කියන ජැක්සන් ඇන්තනී නම් ආදරය තාත්තාව මද්දුම පුතා දකින්නේ මේ ආකාරයටය.

අප්පච්චි මට සුපිරි වීරයෙක්. පුංචි කා‍ලේ ඉඳලා ලොකු කට්ටක් කාලා විශාල කැප කිරීම් රාශියකින් තමයි එයා මෙතෙනට ඇවිල්ලා තියෙන්නේ. අප්පච්චි පුංචි කා‍ලේ ඉඳලා එයා ආදර්ශයට ගත්තු විවිධ ක්ෂේත්‍රවල වීරයෝ බොහෝ ගණනක් හිටියා. ඒ හැම කෙනෙකුගෙන්ම උකහා ගත්තු ස්ප්‍රීතුව කැටිකරගෙන බිහිවුණු සුපිරි එකතුව තමයි මගේ අප්පච්චි. අද අපිට ඒ දැනුම සොයාගෙන තැන් තැන්වල යන්න ඕනේ නැහැ. ඒ හැම දෙයක්ම ගෙදරම තියෙනවා. ඒ අතින් අපි හරි වාසනාවන්තයි.

යෞවනය, ආදරය දෙකක් නොවේ. අඛිලට ආදරය දැනෙන හැටි ගැන අසන්නටද මම අතපසු නොකළෙමි. ආදරය හරිම සුන්දරයි. මේ ක්ෂේත්‍රයට එන්න හුඟ කාලෙකට ඉස්සර ඉඳලම මම ගෑනු ළමයෙක් එක්ක යාළුවෙලා ඉන්නවා. එයා අමන්දා. අපි හරි සතුටින් ඉන්නවා. දැන් ඉතින් දිගටම මම අමන්දා ගැන කියවගෙන යයි. ඊට පස්සේ මේ ආටිකල් එක අමන්දා ගැන එකක් වෙයි. කමක් නැද්ද?

(මහ හර්ඩින් සිනාසෙමින්) අඛිලගේ සොඳුරු කතාව දෝරේ ගලා යමින් තිබි. නමුත් ආයාසයකින් හෝ එයට විරාමයක් තැබිය යුතුය. අනාගත බලා‍පොරොත්තු ගැන ඔහු කී දෙය අවසන මෙහි ලියා තබමි. අධ්‍යාපන කටයුතු නිම කරගන්නත් රංගන ක්ෂේත්‍රයේ ඉදිරියට යන්නත් බලා‍පොරොත්තුවෙන් ඉන්නවා. ඒ කොහොම වුණත් වැඩි කල් නොගොස්ම මට ඇඩ්රස් නැතිවෙයි (නැවත සිනාසෙමින්) අඛිලට ඇඩ්රස් නැතිවන ආකාරය ගැන දැනගැනීම අප අනාගතයට තබමු.

0 comments:

Post a Comment