මේ දවස්වල කලා ක්ෂේත්රයේ වැඩකටයුතු මොනවගේ ද?
අවුරුදු තුනකට විතර පස්සේ මේ අවුරුද්දෙ දී නැවතත් මම, මගේ කලා කටයුතු එක්ක එකතු වුණා. මගේ පෞද්ගලික කාරණා කිහිපයක් නිසාත්, අධ්‍යාපන කටයුතු නිසාත් මට ඒ දේවල්වලින් ටිකක් ඈත් වෙන්න වුණා. ඒ කාලේදී චිත්‍රපට ගීත, කිහිපයකින්ම ප්‍රේක්ෂකයන් අතරට යන්න ලැබුණා වගේම ප්රසංගවලටත් මේ දිනවල සහභාගි වෙනවා. ඒ වගේම මගේ කලායතනයේ වැඩකටයුතුත් කරගෙන යනවා.
වසර තුනක නිහැඩියාවකින් පසු ඔබේ ගමන ක්ෂේත්රය තුළ නැවතත් ආරම්භ කරන්න හිතුවේ කොයි විදියටද?
මම වෘත්තීය ගායන ශිල්පිනියක් වගේම ගුරුවරියක් විදිහට කටයුතු කළා. මම 2016 නැවත වැඩ ආරම්භ කළාට පස්සේ සම්පූර්ණ අවධානය සංගීතය, ගායනය පැත්තට දුන්නා. ගායිකාවක් විදිහට මා තුළින් තාමත් බිහි නොවුණු නර්තනය, ගායනය එකට මුසු වුණු අලුත් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ දිනවල ඒ පැත්තෙන් අලුත් දෙයක් කරන්න කියලා මට ගොඩක් ඉල්ලීම් තිබුණා. ඒ වගේම වටිනා පිරිසක් එකතු කරගෙන අලුත් ප්‍රසංගයක් කරන්නත් හිතාගෙන ඉන්නවා.
ඔබට හැගෙන විදිහට කුෂානි සඳරේඛා කියන්නේ මොන වගේ කෙනෙක්ද?
ක්ෂේත්රය පැත්තෙන් ගත්තහම මම හිතන්නේ සරල, වෘත්තීයමය හැගීමකින් හා ඒ පිළිබඳ බරකින් යුතුව පිළිවෙළට වැඩ කරන්න කැමැති කෙනෙක්.
ඔබට සංගීත ක්ෂේත්රයේ රැල්ලත් එක්ක ගැටෙන්න බයයි කියලා ගොඩක් අය කියලා තිබුණා නේද?
ඔව්. ගොඩක් අය මූණටත් කියලා තියෙනවා. කුෂානි එනවා මදි නේද, වෘත්තියත්වයක් නෑ නේද කියලා. ගොඩක් අය එහෙම කිව්වා තමයි. නමුත් මම දකින දකින දේවල් කරන්න යන්නේ නැතිව හොඳ නරක අත්දැකීම් එක්ක ගමනක් ආපු කෙනෙක්. 2009 රේඛා ඇල්බම් එක පිටවුණාට පස්සේ නවක ශිල්පීන් ඒවා බලලා මගේ ශෛලීන් අරගත්තු තැන් තියෙනවා.
අපි එන කාලේ ලොකුවට දැන් වගේ මාධ්‍යයෙන් පවා තල්ලුවක් තිබුණේ නැහැ. මම මායා දමයන්තිගෙයි, වික්ටර් විජයන්තගෙයි දුව කියලා මට ක්ෂේත්රයේ ගමනක් පහසුවෙන් එන්න පුළුවන් වුණේ නැහැ. දෙමාපියන් පාර පෙන්නුවත්, අපි මන්දගාමීව වුණත් ආපු ගමන ගැන අහිංසක ආඩම්බරයක් තියෙනවා.
ඔබ නිර්මාණවලට වඩා ප්රාසාංගිකත්වය තුළින් ජනප්‍රිය වුණ කෙනෙක් නේද?
ඔව්, ගායන ක්ෂේත්රයේ මගේ නිර්මාණ අතළොස්සයි. මම ක්ෂේත්රයට ආවේ නර්තනය වගේම ගායනයත් එක්ක. මම නර්තන රියැලිටි ෂෝ එකකට සම්බන්ධ වුණ නිසා මිනිස්සු මගේ නර්තනය දැක්කා. ඒත් මාව ගායිකාවක් විදිහට මිනිසුන් හඳුනා ගත්තේ අඩුවෙන්. හොඳ ගායිකාවකට වඩා නටමින් ගයන ශිල්පිනියක් විදිහට මාව ගොඩක් අය දන්නවා. මම මේ දෙකම තුළ ආදරයෙන් ජීවත්වෙන නිසා නර්තනයත් එක්ක ගායනයේ යෙදෙන්න මම කැමැතියි.
අද පවතින සංගීතය හා නවක ශිල්පීන් ගැන මොකද හිතන්නේ?
පෞද්ගලිකව මම හැම සංගීත ශෛලයක්ම රසවිඳින, ඒ තුළින් හොඳ දේ අරගෙන ගායනා කරන කෙනෙක්. එතැනදී කවුරුවත් මෙයා මේ වගේ කරපු කෙනෙක් කියන එක මට අදාළ නැහැ. බටහිර මෙන්ම පෙරදිග සංගීතය ගැනත් තියෙන දැනුම ගොඩක් වැදගත්. මම ගරු කරන්නෙත්, මම හිතන විදිහට සංගීත ක්ෂේත්රයේ වැඩ්ඩෝ වෙන්නෙත් ඒ අය. ඒකට ගැහැනු පිරිමි භේදයක් නැහැ.
අද ඉන්න පිරිස අතර ජනප්‍රිය වගේම දක්ෂ අයත් ඉන්නවා. ලොකුවට මුදල් හම්බ කරන්න හිතන අයට වඩා ක්ෂේත්රය ගැන කැක්කුමක් තියෙන අය අඩුයි. නමුත් ඒ ඉන්න ටික දෙනා නිසා වුණත් වටිනා දෙයක් ක්ෂේත්රය තුළ වෙනවා. අද ඉන්න ප්‍රේක්ෂකයෝ මෝඩ නැහැ. එයා කව්ද, මෙයා කව්ද වගේම කව්ද දැනගෙන කරන්නෙත් එයාට නිසි ගරුත්වය දෙන්නත් අද ඉන්න ප්‍රේක්ෂකයෝ දන්නවා.
තරුණියක් විදිහට විලාසිතා දකින්නේ මොන විදිහටද?
මම ගොඩක් කැමැති කෙනෙක් වගේම මම ෆැෂන් ගෙනාපු කෙනෙක්. ඒක සුදුසු, ගැළපෙන විදිහට පිරිසිදු කරන්න ඕන දෙයක්. කලාවටත් ෆැෂන් අවශ්‍යයි. විලාසිතා කියන දේ හැමදෙයක් තුළම තියෙනවා. අමරදේවයන්, නන්දා මාලිනියන් වගේම රූකාන්ත, කසුන් තුළත් විලාසිතාවක් තියෙනවා. ඒක ඇඳුම් පැලඳුම්වලට සීමාවෙලා නැහැ.
තරුණියක් විදිහට ආදරය දැනෙන්නේ කොහොමද?
මිනිසුන්ට ජීවත් වෙන්න ආදරය අවශ්‍යයි. ආදරය නැතිව ජීවිතයක් නැහැ. මම ආදරේට පෙරේත කෙනෙක්.
ඔබ ආ ගමනත් එක්ක ආපසු හැරිලා බලනකොට මොනවගේ හැගීමක්ද දැනෙන්නේ?
ම්… කලාව කොච්චර කිට්ටු කරගන්න හැදුවත් ඒකේ පොඩි ආගන්තුක ගතියක් මම හැම වෙලාවේම දකිනවා. ඒක රටේම තියෙන දෙයක්. වටිනාකම් වෙනස් වෙනවා, කාලෙන් කාලෙට. අද කලාව ඇතුළේ දකින්න තියෙන්නේ නිර්මාණ ටිකයි. වටිනාකමින් වැඩ කරන අය අඩුයි. මන්දපෝෂණ ගතියක් කලාව ඇතුළේ තියෙනවා කියලා මම හිතනවා.
ඔබ ආ ගමන තුළ මතක් කළ යුතු අය ගැන සිහිපත් කළොත්?
මගේ දෙමාපියන්, පවුලේ අය වගේම අධ්‍යාපනයට, කලාව පිළිබඳ දැක්මක් දුන්න පිරිස මතක් කරනවා. විශේෂයෙන්ම මගේ යාළුවන්, රසික රසිකාවියන් වගේම මාධ්‍යවේදීන්වත් මතක් කරන්න ඕනි. මොකද කලාකරුවෝ ජීවත් වෙන්නේ ඒ අය නිසයි.
අනුෂිකා ගුණරත්න
(උපුටා ගැනීම - රිවිර)
0 comments:
Post a Comment